Thurstan College 71 Year Anniversary - 2021

Thurstan College 71 Year Anniversary - 2021

ලොවක් මවිත කළ, රටක් ඒකළු කළ, දැයක් පුබුදු කළ පුතුන් රැසකට තෝතැන්නක් වූ කොළඹ තර්ස්ටන් විද්‍යාලය ජනවාරි මස 11වන දින සිය 71 වන සංවත්සරය අභිමානයෙන් සමරයි.

එවකට අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ සංකල්පයකට අනුව අධ්‍යාපන අමාත්‍ය ඊ. ඒ. නුගවෙල මහතාගේ ප්‍රධානත්වයෙන් වර්ෂ 1950 ජනවාරි එකොළොස් වන දින ආරම්භ කෙරුණු මෙම පාසලේ ප්‍රථම කණ්ඩායම ලෙස සිසුන් 26 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි.

මීට අමතරව රාජකීය විද්‍යාලයේ ද්වීතික කොටසට සුදුසුකම් නොලැබූ සිසුන් 112 දෙනෙක්ද පාසැලේ 6, 7 සහ 8 වසර වලට සුදුසුකම් ලැබීය.

තර්ස්ටන් පාරේ ද්විතීක පාසල ලෙස ආරම්භ කළ මෙම පාසලේ ප්‍රථම විදුහල්පතිවරයා ලෙස මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි ඩී. පී. ඒ. ෂොක්මන් මහතා පත්කෙරිණි. ත්‍රිත්ව විද්‍යාලයේ දී ඔහු ලැබූ අත්දැකීම් උපයෝගී කරගනිමින් මෙම විද්‍යාලය ඉතාමත් කෙටි කලකින් දිවයිනේ ප්‍රමුඛ පෙලේ පාසල් අතරට ගෙන ඒමට ඔහුට හැකියාව ලැබුණි. මේ අනුව වර්ෂ 1953 මාර්තු මස 26 වන දින තර්ස්ටන් පාරේ ද්වීතීක පාසැල කොළඹ තර්ස්ටන් විද්‍යාලය නමින් නම් කෙරිණි.

එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරවැසියා වන ජනාධිපතිවරයෙකු මෙන්ම යුද, ගුවන්, නාවික හමුදාවල ඉහලම නිළයන් ගෙන්ද පොලිස්පති ධූරයන් ද පිදුම් ලද වීර පුතුන් විශාල ප්‍රමාණයක් තර්ස්ටන් මව් කුසින් බිහිවී ඇත බවට සැකයක් නොමැත. ඒමෙන්ම විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, අග්‍රගන්‍ය කලාකරුවන්, මාධ්‍යවේදීන්, දෙස් විදෙස් පතළ ව්‍යාපාරිකයන් වැනි දහසකුත් ඒකක් ලොවට වැඩ ඇති පුතුන් තර්ස්ටන් මවගේ රුහිරෙන් පෝෂණය ලැබූහ.

කොළඹ දිස්ත්‍රික්කයේ ජාතික පාසල් අතර තර්ස්ටන් විද්‍යාලයට ඉතා ඉහල තැනක් හිමිවන අතර අධ්‍යාපන කටයුතු මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම්වලින් ද තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් ඉතාමත්ම ඉදිරියෙන් සිටිනු දැකිය හැකිය.

ඒ සඳහා වර්තමාන විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතා ගේ මෙන් ම විද්‍යාලයේ පරිපාලනයට එදා මෙදා තුර දායක වූ එම්. ඩී. ගුණවර්ධන, පි. එම්. ජයතිලක, පී. එස්. ගුණසේකර, එච්. ඩී. හර්මන් පෙරේරා, ආර්. ඩී. එම්. පී. වීරතුංග, ඩබ්ලිව්. ගුණරත්න, ඒ. ඩී. එම්. ඩී. බන්ඩාර, වයි. ඒ. එන්. ඩි. යාපා හා ඊ. එම්. එස්. ඒකනායක යන විදුහල්පති තුමන්ලාගෙන් ලැබුණු දායකත්වය අපමණය.

අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ද්වීතික පාසලක් ලෙස වසර 71 ඉතිහාසයක් සනිටුහන් කළ ද, තර්ස්ටනය 1859 තරම් ඈත ඉතිහාසයකට උරුමකම් කියයි.

එනම් වර්ෂ 1859 දී ඉංග්‍රීසි ජාතික දේවගැතිවරයකු වන ඒ. ජේ. තර්ස්ටන් පියතුමා විසින් තම පෞද්ගලික ධනයෙන් වත්මන් තර්ස්ටන් විද්‍යාලය පවතින ස්ථානයේදී කාර්මික විද්‍යාලයක් ආරම්භ කොට පවත්වාගෙන ගොස් තිබිණ.

කෘෂිකර්මය සහ අත්කම් පිළිබඳව දැනුම බෙදා දීම සඳහා පවත්වාගෙන ගිය මෙම පාසැල පසුකාලීනව වැසී යන අතර වර්ෂ 1884 දී ඉංග්‍රීසි රජය විසින් මෙම ස්ථානයේ කෘෂිකාර්මික පාසැලක් ආරම්භ කරණ ලදි.

මෙලෙස ආරම්භ වන කෘෂිකාර්මික පාසැල වර්ෂ 1910 දී වැසී යන අතර පාසැලේ ගොඩනැගිලි උපයෝගී කරගනිමින් ප්‍රදේශවාසී දරුවන් සඳහා ප්‍රාථමික පාසලක් පවත්වාගෙන යාමට රජය කටයුතු කර තිබේ.

රාජකීය විද්‍යාලය 1923 දී රීඩ් මාවතේ පිහිටි ගොඩනැගිල්ලක ආරම්භ කිරීමත් සමඟ මෙම ප්‍රාථමික පාසැල ද එම පරිශ්‍රයට රැගෙනයාමෙන් හිස් වූ මෙම ගොඩනැගිලි සහ භූමිය රජය විසින්ගුරු අභ්‍යාස විද්‍යාලය සඳහා උපයෝගී කර ගන්නා ලදී.

මෙම ගුරු අභ්‍යාස විද්‍යාලයේ ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවයටම නේවාසික පහසුකම් සැලසුණු අතර Denham Hostel ලෙස හැඳින්වුණු මෙම ගොඩනැගිල්ල 80 දශකයේ අග භාගය වන තෙක්ම කොළඹ නගරයේ සුප්‍රකට බිම් සලකුණක් ලෙස විරාජමාන විය.

කෙසේ වෙතත් 1949 මෙම ගුරු අභ්‍යාස ආයතනය මහරගම වර්තමාන ගුරු අභ්‍යාස ආයතනය පවතින ස්ථානයට ගෙන යෑමෙන් පසු හිස් වූ මෙම ගොඩනැගිලි සහ අක්කර පහමාරක පමණ භූමිය 1950 දී තර්ස්ටන් පාර ද්වීතික විද්‍යාලය බවටත් 1953 දී එය කොළඹ තර්ස්ටන් විද්‍යාලය බවටත් පත් වී, මේ වන විට ලක්ෂ සංඛ්‍යාත දරු කැලක් නැණයෙන් පුබුදන්නටත් විනයෙන් සරසන්න ටත් ඇප කැප වූ බව නොරහසකි.